Sunday 28 May 2023

තරුණ පරපුර හා ළමුන් මත්ද්‍රවය්‍ය භාවිතයට යොමු වීම ශ්‍රී ලංකාවෙ සංවර්ධන ක්‍රියාවලියට සිදුකරනු ලබන බලපෑම

 

  තරුණ පරපුර හා ළමුන් මත්ද්‍රවය්‍ය භාවිතයට යොමු වීම ශ්‍රී ලංකාවෙ සංවර්ධන ක්‍රියාවලියට සිදුකරනු ලබන බලපෑම



  මත් රකුසාගේ ගොදුරක් බවට අපේ රට පසුගිය දශකය තිස්සේ වේගයෙන් පත් වූ බව පෙනේ. මේ සඳහා ප්‍රබල ලෙස බලපාන හේතූන් දෙකක් වෙයි. එනම් ලංකාවේ පිහිටීම හා පසුගිය දශකයේ ලංකාවේ බල පැවැත් වූ ආර්ථික ක්‍රමය යි. මෙහි දී ලංකාව ලෝකයේ මත් ද්‍රව්‍ය නිපදවන ප්‍රධාන කලාප දෙක වන පකිස්ථානය හා ඉරානය අයත් වන රත්රන් චන්ද්‍රවංකය සහ බුරුමය
, තායිලන්තය හා ලාඕසය ද අයත් වන රත්රන් “ත්‍රිකෝණය අතර පිහිටා තිබීම විශේෂයෙන් සැලකිය යුතු ය. මේ නිසා ලංකාවේ ලෝක මත් ද්‍රව ජාවාරම්කරුවන්ගේ කදිම හුවමාරු පොළක් විය. අපේ රටේ බලපවත්වන විවෘත  ආර්ථික ක්‍රමය මෙම උවදුර පැතිරීම සඳහා පිටුවහලක් වූ බව පෙනේ.

 වත්මන් ලෝකයේ භාවිතා කරණ දරුණු මත් ද්‍රව්‍ය අතර මොෆන්, අබිං, හෂීස්, මාවා, අයිස් හා හෙරොයින් ආදිය ප්‍රධාන තැනක් ගනී.  ලංකාවේ මින් වැඩිව  ව්‍යාප්ත  වෙමින් පවතින්නේ හෙරොයින් නැමැති මත් ද්‍රවයයි. මෙ මත් ද්‍රව්‍යයේ  බිහිසුණුබව කොතරම් දැයි කිවහොත් මෙයට ඇබ්බැහි වූවෙකුට සදාකාලික රෝගාබාද වලට ලක්ව මිය යාම ට  සිදුවනු ඇත.  අපේ රටේ  කොළඹ, ගාල්ල, මහනුවර වැනි නගරවල මත් රකුසාට හසු වූවන්ගේ ගණන සීඝ්‍රයෙන්  වැඩි වෙමින් පවතී. මේ සඳහා ප්‍රතිකර්ම නොකළහොක් ගම් දනවුවල ද මත් ද්‍රව්‍ය සාමාන්‍ය දෙයක් බවට පත් වන දිනය වැඩි ඈතත නොවනු ඇත.ලංකාවේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් අතර තරුණ  තරුණියෝ ද සිටිති. රටක අනාගතය හාර ගැනීමට සිටින ජාතියේ  ජීවය බඳු තරුණ  පරපුර  මේ අයුරින් විනාශ වීම රටේම අවාසනාවකි.

මේ තරුණ  පරපුර මෙසේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට හේතූන් ගණනාවක් පවතින බව සමාජ විඥයෝ පවසති. ඉන් ප්‍රධාන තැනක්  තරුණ  ජීවිත කෙරෙහි දක්නට ලැබෙන අනුකරණයට ඇති කැමැත්තට හිමි වේ. තවත් කරුණක් නම් ජීවිතයේ වටිනාකම් පිළිබඳ කරුණ තරුණියන් තුළ පවත්නා ස්වභාවයයි. තවත් විශාල පිරිසක් තමා නොදනුවත්වම විවිධ තැරැව්කරුවන් මගින් මේ සඳහා ගොදුරු වෙති. එමෙන් ම අද පවත්නා වාණිජමය සමාජය තුළ බොහෝ දෙමවුපියන් මුදල ඉපයීම ප්‍රධාන පරමාර්ථය කර ගෙන ඇති අතර මෙහි ප්‍රතිඵලයක වශයෙන් දෙමාපිය අවධානය හා සෙනෙහස ගිලිහී යාම, ලා බාල ජීවිත මත් රකුසා කෙරෙහි යොමුවීමට හේතුවක් වී ඇත.දැඩි තරගකාරී  තත්ත්වයක් පවත්නා සමාජයක ජීවත් වන තරුණ  තරුණියෝ වැඩි දෙනෙක් සාර්ථක ව අනාගතයට මුහුණ දීමට නොහැකි වේය යන අනියත බියෙන් පෙළෙති. විශේෂයෙන් පාසල් හා පෞද්ගලික පන්තිවලට ගොස් හෙම්බත් වී අනාගත ගැන නිශ්චිත බවක් නොතිබීමෙන් බොහෝ තරුණ  තරුණියන් කල් ගෙවන්නේ විශාල අසහනයකිහි. මෙහිදි ඔවුන්ගේ සමීප  මිතුරා වන්නේ මත්ද්‍රව්‍ය යි. මත්ද්‍රව්‍ය තුළින් ජීවිතයේ ප්‍රශ්න හා පීඩාකාර බව අමතක කර දම්ම ද ඇතැමුන්ගේ අරමුණ වී ඇත.

සුගිය කාලය තුළ මත් උවදුර යළි ශ්‍රී ලංකාවේ හිස ඔසවමින්  පාසල් සිසුන් ඇතුළු ළමා සහ තරුණ ප්‍රජාව වෙත මත්ද්‍රව්‍ය බෙදාහැරීම් පිළිබඳ ප්‍රවෘත්ති ගණනාවක් වාර්තා විය.

මේ වන විට අපේ රටේ තරුණ පරපුර අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. 2018 වර්ෂයේ අයිස් මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තා වූයේ සිදුවීම් 257 ක් පමණි. නමුත් එය 2021 වනවිට ඒ සම්බන්ධ සිදුවීම් 13,000 දාහකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබේ. එනයින් පෙනී යනු ලබන්නේ අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ ඇති ඉතා වේගවත් බවයි. පුද්ගලයෙකු එක් වරක් හෝ කිහිප වරක් මත්ද්‍රව්‍ය භාවිත කළහොත් එම පුද්ගලයා එම මත්ද්‍රව්‍ය නැතිවම බැරි තත්වයකට පත්වේ. මත්ද්‍රව්‍යය කෙනෙකුගේ කායික, මානසික මෙන්ම ජෛව රසායනික ක්‍රියාවලිය ද අඩපණ කරන්නට සමත් වේ.

මෙහි ඛේදනීය තත්ත්වයක් නම් මෙහි වැඩිපුර ගොදුරු බවට පත්ව ඇත්තේ නව යොවුන් වියේ පසුවන තරුණ ප්‍රජාවයි. විශේෂයෙන් මෙරට පාසල් සිසුන් හා තරුණ ප්‍රජාව අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කර ගැනීම වෙනුවෙන් සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් ක්‍රියාත්මක වන බව එදිනෙදා ප්‍රවෘත්ති මඟින් පැහැදිලි වේ. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටක රටේ වැදගත්ම ජන කොට්ඨාසය වන තරුණ ප්‍රජාව මෙලෙස මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම එහි සංවර්ධනයටද බාධාවකි. ලංකාව ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කදිම හුවමාරු පොලක් වී හමාරය.

2022 ශ්‍රි ලංකා අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් මත්ද්‍රව්‍ය භාවිතය පාසල් ළමුන් ඉලක්ක කරගනිමින්න් සිදුකරන ලද පර්‍යේෂණයෙහි වාර්තාව මඟින් තරුණ පිරිස් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම හා එහි බරපතලකම පෙන්නුම් කරනු ලබයි.

මෙම තත්වය අදවන විට බංකොලොත් භාවයට පත්ව සිටින ශ්‍රී ලාංකාව වැනි රටකට අතිශයින්ම බලපෑම් එල්ල කරයි. මෙම මත් උවදුරෙන් තරුණ පිරිස් බේරාගැනීමට කොතෙකුත් නීති රීතී ක්‍රියාත්මක වූවද නීතියටත් උඩින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන් යනු ලබයි. ලංකා රජයද මේ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග දුර්වල මට්ටමක පවතී.

මෙවන් තත්වයක් තුළ සංවර්ධන ඉලක්ක අඩාල කරනු ලබන ප්‍රධාන සංවර්ධන ගැටලුවක් වශයෙන් හදුනාගත හැකි මෙම තරුණ පිරිස් මත්ද්‍රව්‍ය වෙත යොමුවීම අවම කිරීම සඳහා නිර්මාණශීලී සන්නිවේදකයෙකු වශයෙන් සමාජය දැනුවත් කිරීම අපගේ කාර්‍යභාරය වේ.


එම්. තරුෂි සඳුනිකා 

විශේෂවේදී පළමු වසර 

ජනසන්නිවේදන අධ්‍යයනාංශය 

සමාජ විද්‍යා පීඨය

කැළණිය විශ්ව විද්‍යාලය

5 comments:

ජනප්‍රිය සංස්කෘතිය

ජනප්‍රිය සංස්කෘතිය  සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනයේදී සංස්කෘතික ක්‍රියාවලියේ නවතම විකාශනය ලෙස හඳුනාගත හැකි වන්නේ ජනප්‍රිය සංස්කෘතියයි. එහෙත් ජනප...